Sunday, October 20, 2024

ග්‍රාහකයා (Receiver) යනු



 ග්‍රාහකයා (Receiver) යනු සංදේශයක් ලබන පුද්ගලයාය. අප ඉදිරිපත් කරන සංදේශයේ අවසාන ඉලක්කයයි. එනම් සංදේශයක් අවසාන වශයෙන් ලබා ගන්නේ  ග්‍රාහකයා. බොහෝ විට ග්‍රාහකයා තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැකිය. මෙය විකේතකරය ලෙස ද හදුන්වයි.ඒ් අනුව සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවේ. ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයේම සිටින්නේ නැත. ඔහු පෙරලා සන්නිවේදකයෙකු ද වෙයි. එබැවින් සන්නිවේදක කේන්ද්‍රීය ලක්ෂණ මෙන්ම මෙන්ම ග්‍රාහක කේන්ද්‍රය ලක්ෂණ ද සලකා බැලිය යුතුය. ග්‍රාහකස්ථානයේ සිටින්නන් ඔවුනොවුන්ගේ වෘත්තීය අනුව කොටස් කළ නොහැකිය. එම නිසා පුළුල් සමීක්ෂණවලින් ජනමාධ්‍යවේදීන් විසින් තම ග්‍රාහක කණ්ඩායම් ගැන අවබෝධයක් ලබාගත යුතුවේ. අනවබෝධයෙන් ඉදිරිපත් කරන සන්දේශ ග්‍රාහකයාගේ මෙන්ම සන්නිවේදකයාගේද කාලය විනාශ කර දමයි. ග්‍රාහකයාගේ ස්වභාවය ඔහුගේ දැනුම් මට්ටම හා ආකල්ප අනුව වෙනස් වෙයි. ආකල්පය යනු කුමක්දැයි පැහැදිලි කිරීම තරමක් අපහසුය. එහෙත් ආකල්පය යන්න සමහරවිට අවබෝධය යන්නටද වඩා වැදගත් වන අවස්ථාවන් තිබේ. ආකල්ප සරල ලෙස විග්‍රහ කරන විට මිනිසුන් සිතන මතන ආකාරයත් ඔවුන්ගේ ප්‍රතිචාර යනාදියත් ඇතුළත් වේ. එය අදහස් මත ආකල්ප දෘෂ්ටිය යනාදියෙන් පැහැදිලි කරගත හැකිය. සන්නිවේදන ක්‍රියාවලියේ දී ආකල්ප යන්න අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරනු ලැබේ.

1) සංදේශ මූලාශ්‍රය පිළිබඳ ආකල්පය

2)සංදේශයේ ගැන ඇති ආකල්පය

3)ග්‍රාහකයාගේ ආකල්පය

සංදේශ මූලාශ්‍රය පිළිබඳ ආකල්පය යනු යම් මූලාශ්‍රයක් ප්‍රභවය වූයේ කොතැනින්ද යන්න පිළිබඳ දැන ගැනීමෙන් ඇතිවන අදහසයි. උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාලයක කිසියම් මහාචාර්යවරයෙක් ඉදිරිපත් කරන ලද අදහස් කෙරෙහි සමහරුන් ගෞරවාන්විතවත් සමහරුන් අකමැත්තෙනුත් බැලීමට ඉඩ තිබේ. එසේ වූ විට ග්‍රාහකයාට සංදේශ මූලාශ්‍රය පිළිබඳ කිසියම් ආකල්පයක් ඇතිවන බව පෙනේ.

සංදේශය ගැන ඇතිවන ආකල්පය යනු ඉදිරිපත් වන ප්‍රවෘත්තිය පිළිබඳව ග්‍රාහකයා තුළ හටගන්නා අදහසයි. මෙම ප්‍රවෘත්තිය සත්‍ය එකක්ද? එසේම මෙම පණිවිඩය කෙබඳු ආකාරයෙන් තමාට බලපාන්නේ ද? එයට ප්‍රතිචාර දැක්වීම හිතකර ද? අහිතකර ද? යනාදී වශයෙන් ග්‍රාහකයා තුළ සංදේශය කෙරෙහි ඇතිවන ආකල්පයයි.

ග්‍රාහකයාගේ ආකල්පය යනු තමාට ලැබුණු සංදේශයෙන් අර්ථවත් යමක් අවබෝධ කර ගැනීමට හැකිවීද? එය තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට කොපමණ දුරට ඉවහල් වූයේද? එසේත් නොමැති නම් මේ සංදේශය අර්ථ ශූන්‍ය එකක්ද? යනාදී වශයෙන් ග්‍රාහකයාටම ඇතිවන අදහස්ය.

කිසියම් සංදේශයක් සම්ප්‍රේෂණය කිරීමට ප්‍රථම ග්‍රාහකයාගේ සන්නිවේදන චර්යාව ගැන දැන සිටීම වැදගත් වෙයි. තමාගේ සංදේශය නිර්මාමාණය කර ගැනීමටත්, එය යවන විධික්‍රමය ගැන දැන ගැනීමටත්, ජනමාධ්‍ය තෝරා ගැනීමටත් හැකිවන්නේ ග්‍රාහකයාගේ එකී චර්යාව ගැන අවබෝධයෙනි. මෙහිදී සන්නිවේදන චර්යාව යනුවෙන් අදහස් කරන්නේ ග්‍රාහකයාගේ රුචි, අරුචිකම්, සාරධර්ම, ආකල්ප, අවබෝධය යනාදී කරුණුය. ග්‍රාහකයාගේ ස්වභාවය තේරුම් ගැනීමේ දී සැලකිය යුතු කරුණු කීපයක්ම තිබේ. එනම් තම ග්‍රාහක පිරිස කියවීමට හැකි අයද? කොපමණ වේලාවක් ඔවුන් කියවීමට ගත කරනු ලැබේද? ශ්‍රවණය කරන මාධ්‍ය කුමක්ද? වඩාත් සමීප ජනමාධ්‍ය කුමක්ද? යනාදී කරුණු ගැනවත් මූලික වශයෙන් දැන සිටිය යුතුය. එසේම මේ ග්‍රාහක කණ්ඩායම් සඳහා භාවිතා කරනු ලබන භාෂා රටාව කෙසේ සකස් විය යුතුද? යන්නත් සැලකිය යුත්තකි.

සමහර ග්‍රාහකයෝ ඉතා සුළු වේලාවක් කියවීමටත් බොහෝ වේලාවක් ගුවන්විදුලිිය ශ්‍රවණය කිරීමට හො රූපවාහිනිය නැරඹීමට හෝ කැමැත්තක් දක්වති. තවත් සමහරු සිය කණ්ඩායමෙන් තොරතුරු ලබා ගනිති. එම නිසා ග්‍රාහකයාට උචිත වන සන්නිවේදන විධික්‍රමය වන්නේ ජනමාධ්‍යයන් ද නැතිනම් පුද්ගල අන්තර සන්නිවේදන ක්‍රමයද යන්න ඒ අනුව තීරණය කළ හැකි වේ. 

ග්‍රාහකයාගේ දැනුම, ආකල්ප චින්තන රටාව යනාදිය ගැන සොයා බලන විට ඔහු සතු ජීවන ප්‍රතිපදාව ගැන ද සැලකිල්ලක් දැක්විය යුතුය. ඔහුට සිදුකළ හැකි බලපෑම් මොනවාද? ඔහු පොළඹව ගත හැක්කේ කැමති කරුණු ඉදිරිපත් කිරීමෙන් ද? යනාදියත් වැදගත් වේ. සමාජ විද්‍යාඥයන් විසින් මිනිසා පොළඹවාලිය හැකි මූලික කරුණු හතරක් දක්වා තිබේ.එනම්,

1) ආරක්ෂාව

2) ප්‍රතිචාරය

3) පිළිගැනීම

4) නව අත්දැකීම්

ග්‍රාහකයා යනු සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකයා ලබාදෙන්නා වූ පණිවිඩය ග්‍රහණය කර ගන්නා පුද්ගලයා වේ. ග්‍රාහකයෝ විවිධ ස්වරූපයෙන් ද දැකිය හැකිය. 

පුවත්පත - පාඨකයා

ගුවන්විදුලිය - ශ්‍රාවකයා

රූපවාහිනිය,සිනමාව - නරඹන්නා,ප්‍රේක්ෂකයා

මේ ආකාරයට ග්‍රාහකයා පිළිබඳව මෙයින් පැහැදිලි වේ.

4 comments:

ජනප්‍රිය සංස්කෘතිය

  ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන...